Cricket NewsEXCLUSIVE

“අපි හැමෝම දන්නවා රටේ තත්ත්වය මොකක්ද කියලා, හැම ක්‍රීඩකයෙක්ටම ඕන මහන්සි වෙලා මේක ජයග්‍රහණය කරලා ඒ සතුට ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන්න” – දිමුත් කරුණාරත්න

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය හෙට(15) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරිපෙළ රැඳී සිටිමටන්ම් මෙම ජයග්‍රහණ අතිශය තීරණාත්මක වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් සහ කණ්ඩායමේ තීරණ පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න විසින් Zoom ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

එහිදී ඔහු බංගලාදේශ කණ්ඩායම පිළිබඳව මෙලෙස සඳහන් කර සිටියා,

“බංග්ලාදේශ කණ්ඩායම කිසිම වෙලාවක පහළට දාන්න බැහැ. ඔවුන් තම රටේදී ඉතාමත් ශක්තිමත්, මම හිතනවා අපිට ලොකු අභියෝගයක් සහ තරගයක් ජයග්‍රහණය කරන තත්ත්වයට ගේන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි කියලා.බොහෝදුරට මේ තරගාවලියේදි ඕෂධ ප්‍රනාන්දු මා සමග ආරම්භ පිතිකරුවා ලෙස කටයුතු කරාවි. ක්‍රිකට් කියන්නේ ලංකාවේ අංක 1 ක්‍රීඩාව, හැමෝම බලාගෙන ඉන්නේ අපි ජයග්‍රහණය කරනකන්, අපි හැමෝම දන්නවා රටේ තත්ත්වය මොකක්ද කියලා, හැම ක්‍රීඩකයෙක්ටම ඕනේ මහන්සි වෙලා මේක ජයග්‍රහණය කරලා ඒ සතුට ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.”

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල පිළිබඳවද මෙහිදී දිමුත් අදහස් දක්වා සිටියා,

“අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන නිසා ඔහුට (දික්වැල්ලට) වැඩිපුර දීර්ඝ ඉනිම් ක්‍රීඩා කරන්න අවස්තාව ලැබෙන්නෙ නෑ. ඒත් ලැබුණ අවස්ථාවලදිත් ඔහු ප්‍රයෝජන ගත්තේ නෑ. මම අවස්ථා කිහිපයකදීම ඔහුට පෞද්ගලිකවම කතා කරලා කිව්වා කණ්ඩායමට ඔහුගෙන් අවශ්‍ය මොනවාද කියලා. ඉදිරියෙදි ඔහු වැරදි හදාගෙන ඉස්සරහට යයි කියලා මම හිතනවා.” යැයි දිමුත් පැවසීය.

තරගය පැවැත්වෙන චිතගෝන් තණතීරුව පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා නායකයා, බංග්ලාදේශයට සාපේක්ෂව වඩා හොඳ පිහිහරඹ ලැයිස්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින බැවින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී කියා සිටියේය.

සුරංග ලක්මාල්ගේ සමුගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලෑණියට නිත්‍ය සාමාජිකයකු අහිමිවූ බැවින් නවක වේග පන්දු යවන්නන් දෙදෙනකුට කණ්ඩායමේ ඉඩ කඩ පවතින බවද දිමුත් සඳහන් කළේය. ඒ අනුව ඉන්දීය සංචාරයේදී සුරංගගේ සහයක වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ විෂ්ව ප්‍රනාන්දු සමග අසිත ප්‍රනාන්දු හෝ කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ.

කෙසේ වුවත් වේග පන්දු යවන්නකු වෙනුවට වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවන්නේ නම් කණ්ඩායමේ පිතිහරඹය ලැයිස්තුවද තවත් ශක්තිමක් වනු ඇත. පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹූල්දෙණිය මෙම තරගයේදී බොහෝ දුරට කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කරනු ඇත.

ළහිරු තිරිමාන්න සංචිතයේ නොමැති බැවින් තමා සමග ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන බවත්, කඩුලු රකින්නාද හැරුණු කොට තවත් පිතිකරුවන් සිවුදෙනෙක් කණ්ඩායමට ඇතුළත්වනු ඇති බවත් ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය. එහිදී කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පිළිවෙලින් අංක 3, 4 සහ 5 යන ස්ථානවල පන්දුවට පහරදීමට නියමිත අතර 6 වැනි ස්ථානය දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අතර දෝලනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

හෙට තරගයට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක) , ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත/අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශය – මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන්, යසීර් අලී, ශකීබ් අල් හසන්, මොසදෙක් හොසේන්, මෙහෙද හසන්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, නුරුල් හසන්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, එබාදත් හොසේන්, ඛලීඩ් අහමඩ්, රහ්මන් රාජා, ෂොහිදල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්.

දිමුත් සහබාගි වූ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button